kksudassi333@gmail.com
+94 77 376 1333
Menu
  • මුල් පිටුව
  • අප ගැන
    • ස්වාමීන් වහන්සේ පිළිබඳව
    • වැඩසටහන්
    • වැඩසටහන් ඡායාරූප
  • ධර්මය
    • ධර්ම දේශනා විඩියෝ
    • ධර්ම දේශනා හඬ පට
    • දහම් ලිපි
    • දහම් පොත්
  • දායකත්වය
  • විමසීම්

ස්වාමීන් වහන්සේ පිළිබඳව

ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ

වරකාපොල කුකුල්පනේ ගම් පියසේ සහෝදරියන් තිදෙනෙකුට සහ සහෝදරයන් පස් දෙනෙකුට කනිටුව ජී. ආර්. මුදියන්සේ සහ ජී. කේ. බේබිනෝනා යන දෙගුරුන්ට දාව 1973.06.08 වැනි දින මෙලොව එළිය දුටු කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේගේ ගිහි නම ගමරාලලාගේ සුමිත් ජයලාල් නම් විය. උන්වහන්සේ ගිහිකල මූලික අධ්‍යාපනය ලැබුවේ තල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් ය. පාසැල් අධ්‍යාපනය අට වන ශ්‍රේණියෙන් හමාර කොට වයස අවුරුදු දාහතරේ දී ප්‍රවෘජාව සදහා නික්ම ගියේය. සතරකෝරළ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිනුවන්ගමුවේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස 1987.11.05 වැනි දින කෑගල්ල හෙට්ටිමුල්ල විද්‍යාවාස මහ පිරිවෙනේ දී තවත් කුල දරුවන් තිදෙනෙකු සමඟ කුකුල්පනේ සිද්ධාර්ථ නමින් සාමණේර පැවිද්ද ලබන ලදී.

පැවිදි වූ දිනයේම රාත්‍රියේ දී උන්වහන්සේ විසින් මව්පිය ගුණ පිළිබඳ පැය දෙකහමාරක පමණ ධර්ම දේශනාවක්  පැවැත්වීම, උන්වහන්සේ සතු සාංසාරික වාසනා ගුණය ප්‍රකට කරනලද සුවිශේෂ අවස්ථාවකි. ඉන් පසු පැවිද්ද ලබාගත් හෙට්ටිමුල්ල විද්‍යාවාස පිරිවෙනෙන් ම මූලික අධ්‍යාපනය ලබා ප්‍රාචීන අධ්‍යාපනය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට සම්බන්ධ විය. එසේ ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන අතරතුර දී 1993 මැයි මාසයේ දී ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබන ලදී. එහිදී ප්‍රාතිමෝක්ෂය, පිරුවානා පොත් වහන්සේ ආදිය සම්පූර්ණයෙන් වනපොත් කළ අතර -පැවිද්ද හා උපසම්පදාව- කෘතිය එළිදැක්වීම ද සිදු විය.

උපසම්පදාවෙන් පසු පිරිවෙන් අධ්‍යාපනයෙන් සමුගත් උන්වහන්සේ ආධ්‍යාත්මික සුවය සොයා ගියේ කුරුණෑගල බඹරගල භාවනා මධ්‍යස්ථානය වෙතට ය. මෙම භාවනා ස්ථානය කලක් ශ්‍රී ලංකා ශ්වේජින් නිකායට අයත් ආයතනයක් වූ බැවින් ශ්වේජින් නිකායේ මූලස්ථානය වන පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ මුල්ම වස් තුන් මාසය ගතකිරීමට උන්වහන්සේට අවස්ථාව උදාවිය. එම වස් තෙමස තුළ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගෙන් සහ ශාස්ත්‍රාචාර්ය හේන්ගොඩ කල්‍යාණධම්ම මාහිමිපාණන් වහන්සේගෙන් ධර්ම විනය පිළිබඳ බොහෝ දෑ උද්ග්‍රහණය කරගත හැකි වූයෙන් 1993.12.21 වන දින ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායික මහා සංඝයා ඉදිරියේ කුකුල්පනේ සුදස්සී යන නමින් නැවත උපසම්පදාව ලබා ගනිමින් ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායට ඇතුළත් විය. ඉන් පසුව භාවනාව ප්‍රගුණ කිරීම සඳහා වැඩසිටි බඹරගල භාවනා මධ්‍යස්ථානයේ දී ප්‍රථම වරට අරියවංශ ධර්ම දේශනාවක් පවත්වන ලදී. 1995 වසරේ අග භාගයේ දී අතිපූජ්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මග පෙන්වීම මත පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ නිත්‍ය නේවාසිකත්වය ලැබීය. එතැන් සිට 1997.07.04 වන දින අතිපූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත් වනතුරුම උන්වහන්සේගේ ඇසුර ලැබීමට හා උපස්ථාන කිරීමට භාග්‍යය ලැබීය.

සුදස්සී ස්වාමින් වහන්සේ විනයාලංකාර දහම්පාසලේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම ද කලක් සිදු කරන ලදී. 1999 වසරේ දී විහාරස්ථානයේ කටයුතුවලින් විවේකය පැතූ උන්වහන්සේ විවෙකස්ථානයක වසර හයක පමණ කාලයක් ගතකළේ ය. 2006 වසරේ දී ප්‍රථම වරට විදේශ ධර්ම චාරිකාවක් සදහා ආරාධනා ලැබ අබුඩාබි රාජ්‍යයට වැඩම කළ අතර 2007 වසරේ සිට ගුවන්විදුලි සහ රූපවානී මාධ්‍ය ඔස්සේ ධර්මප්‍රචාරක කටයුතු ආරම්භ කළේය. එතැන් පටන් කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ ගැඹුරු දහම් කරුණු සරලව විග්‍රහ කරදීමෙහි සහජ හැකියාවක් ඇති විචිත්‍ර ධර්ම කථීකයන් වහන්සේ නමක් ලෙස මහජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය.

2006 වර්ෂයේ නැවතත් ශාස්ත්‍රීය අධ්‍යාපනයට යොමු වූ සුදස්සී ස්වාමින්වහන්සේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රෙව්දී සහ ශාස්ත්‍රපති උපාධීන් දිනා ගත් අතර 2018 වර්ෂය වනවිට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය දිනාගන්නට සමත් විය.

එසේම ශ්‍රී ලංකා ශ්වේජින් නිකායික මහා සංඝයා වහන්සේ විසින් එම නිකායේ කාරක සංඝසභික ධුරයක් සහ කර්ම වාගාචාර්ය ධුරයක්ද පිරිනමා ඇත්තේ උන්හවන්සේ සිදුකරන සමාජ ශාසනික සේවා තවත් හොඳින් සිදු කිරීම පිණිස ය. උන්වහන්සේ මේ වනවිට ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරය දරන අතර නිකායාභිවෘධිය සදහා ද තම කාර්යභාරය මැනවින් ඉටු කරයි.

1999 වසරේ සිට හොරණ පෝරුවදණ්ඩ සත්ජන සමාජ සංවර්ධන පදනමට සම්බන්ධව සමාජ සහ ශාසන උන්නතිය වෙනුවෙන් මහගු මෙහෙවරක් සිදු කරන අතර එම සංවිධානයේ උත්තර මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරය ද දරනු ලබයි.

Category

  • Dhamma Articles

Archives

  • February 2024
දායකත්වය:
ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන සමාජ සේවා සහ ශාසනික සේවා සඳහාත් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාම සඳහාත් දායක වීමට ඔබට ද අවස්ථාව ඇත. විමසීම්
අඩවියේ පිටු:
  • ස්වාමීන් වහන්සේ පිළිබඳව
  • ධර්ම දේශනා හඬ පට
  • ධර්ම දේශනා විඩියෝ
  • වැඩසටහන්
  • දහම් පොත්
  • දහම් ලිපි
විමසීම්:

අත්‍යවශ්‍ය කරුණක දී පමණක් ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගැනීමට, ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.

ජංගම දුරකථන : 071 8403246, 077 3761333

ඊ-මේල් : kksudassi333@gmail.com

Copyright © 2024. All rights reserved
Maintain by Belsidc Web Solutions